Lankatruth

A+ A A-

හඳුන්නෙත්ති තවත් වාර්තාවකට සැරසෙයි...

පසුගිය සතියේ රට තුළ ප‍්‍රධාන මාතෘකාව බවට පත්වූයේ කෝප් කමිටුව සහ කෝප් සභාපතිවරයාය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව අවසන් වාර්තාව සකස් කිරීමේදී ඇතිවූ උණුසුම් තත්වයත් එම ගනුදෙනුව නිසා රටට ඇතිවී තිබෙන විශාල පාඩුවත් හේතුවෙන් මේ මාතෘකාව සියලු දෙනාගේම අවධානයට ලක් විය. පසුගිය 28වෙනිදා සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවට කෝප් වාර්තාව ඉදිරිපත් කිරීමත් සමග වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව මාධ්‍යවේදීහු, සිවිල් බුද්ධිමත්හු, බැංකු ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෘත්තිකයෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු විශාල පිරිසක් අවධානය යොමු කළහ. මේ අතර සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට දුරකතන ඇමතුම් විශාල ප‍්‍රමාණයක් ලැබුණේ වාර්ව පිළිබඳව තව තවත් තොරතුරු දැනගැනීමට සහ ඔහුට ස්තූතිය පළකිරීමටය.

මෙ අතර රජයේ ඉහළ නිලධාරියෙක් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන්නේය. "මම ඔබතුමාට කතා කරන්නේ කරුණු 03ක් මත. එකක් ධර්මාශෝකේ කොල්ලෙක් වීම නිසා. අනෙක් එක මමත් දවස් කිහිපයකට හරි ඔබතුමාගේ පක්ෂයේ හිටපු කෙනෙක් නිසා. ප‍්‍රධාන කරුණ තමයි ඔබතුමා රටේ මූල්‍ය පාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට බලයක් තිබෙන බව නැවත වතාවක් ඔප්පු කරලා පෙන්නපු නිසා. මොකද මේ වෙනකොට රටේ ජනතාවට රටේ මූල්‍ය පාලනය ගැන කිසිම විශ්වාසයක් නැහැ. නමුත් ඔබතුමාලගේ උත්සහය නිසා ජනතාවට නැවත විශ්වාසයක් හදන්න පුළුවන් වෙලා තියෙනවා." ඔහු කියා සිටියේය. "ඔව්, අපිට තිබුණ ලොකුම අභියෝගය වුණේ හොරු එල්ලන්න ආපු අය හොරු එක්ක හිටගන්න එක. එක එක අය එක එක කතා කියනවා. අපි ඕන තැනක කරන වැඩේ හරියටම කරනවා කියලා හැමදාමත් ඔප්පු කරලා තියෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි කතා කළාට" සුනිල් හඳුන්නෙත්ති කීවේය.

මේ අතර කෝප් වාර්තාවේ මුද්‍රණ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා කිහිප වතාවක් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ කෝප් ලේකම් කාර්යාලයට ගියේය. "මන්ත‍්‍රීතුමා අපිට දැන්වත් පොඩි නිවාඩුවක් ගන්න බැරිද?" එක් සේවකයෙක් විමසීය. අපි කොහොමද නිවාඩු ගන්නේ. දැන් දෙසැම්බර් මාසේ තවත් වාර්තාවක් දාන්න තියෙනවනේ ආයතන 34ක් ගැන. ඒකට වැඩ පටන් ගන්න ඕනෑ" සුනිල් හඳුන්නෙත්ති කීවේය. "සභාපතිතුමා මේ වාර්තාව මුද්‍රණය කරන එක අමාරු වැඩක් වෙලා. මොකද ඉතිහාසයේ මේ තරම් ලොකු වාර්තාවක් අපි ප‍්‍රින්ට් කරලා නැහැ. කොටස් 03කට තමයි ප‍්‍රින්ට් කරන්න වෙලා තියෙන්නේ." තවත් සේවකයෙක් කීවේය. 

"මන්ත‍්‍රීතුමා මේ දවස්වල පාර්ලිමේන්තු පුස්තකාලෙ අපිට මාර බිසි." ෆොටෝ කොපි කිහිපයක් ගැනීමට ගිය හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට පුස්තකාලයේ සේවකයෙක් කීවේය. "ඒ මොකද එහෙම වෙලා තියෙන්නේ" මන්ත‍්‍රීවරයා විමසීය. "ඇයි මන්ත‍්‍රීතුමා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන කෝප් වාර්තාවෙන් පස්සේ වැඩිම පේපර් කටින් ප‍්‍රමාණයක් එකතු කරන්න අපිට සිද්ධ වෙලා. වෙන කිසිම දෙයක් ගැන මේ තරම් පත්තර වාර්තා ගියේ නැහැ" සේවකයා කීවේය.

Media

Leave a comment

Make sure you enter the (*) required information where indicated.Basic HTML code is allowed.

Advertisement

...