"Z" ගය නැවත නිකුත් කිරීමත් සමග අසාධාරණයට ලක්වූ සිසු සිසුවියන් විසින් අද (28) වලස්මුල් නගරයේදී පවත්වන ලද උද්ඝෝෂණයට නිලබලකායේ පිරිසක් කඩාපැන එහි උද්ඝෝෂණයේ නිරතවූවන්ට තර්ජනයකර ඇතැයි වාර්තාවේ.
අද උදේ 10.00ට පමණ මෙම උද්ඝෝෂණය පවත්වා ඇති අතර එය අවසන්වනවාත් සමග එම ස්ථානයට පැමිණ ඇති නිල්බලකායේ පිරිසක් විසින් එහි සිටි සිසු සිසුවියන්ට ඉතා නින්දිත ආකාරයෙන් අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබේ. ඔවුන් පවසා ඇත්තේ "මෙතන උද්ඝෝෂණය කරපු හැම එකාවම අපි විඩියෝකළා. පරිස්සම්වෙලා හිටපල්ලා. දඟලන්න ලෑස්ති වෙන්න එපා. අපි කවුද කියල තොපි දන්නවනෙ." යනුවෙනි. තවත් අසභ්‍ය වචනද කියා ඇත. එහි සිටි සිසුවියන් ඉදිරියේ ඔවුන් හැසිරී ඇත්තේ ඉතාම අසභ්‍ය ආකාරයෙනි.
මේ සම්බන්ධයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ "මේ උසස්පෙළ ප්‍රතිඵල අවුලට වගකිවන්න ඕන ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවයි.
අසාධාරණයට පත්වුන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යම් හෝ සාධාරණයක් ඉටු කරනව වෙනුවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලවා විවිධ ප්‍රකාශ කරවන්න පටන් ගත්ත. ඒවට උසස්පෙළ ලියූ සිසු සුවියන් අහුවුනේ නැහැ. ඒවට නොරැවටී අසාධාරණයට ලක්වෙවුන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ට සාධාරණයක් ඉල්ලා උද්‍ඝෝෂණය කරද්දි නිල්බලකායේ මැරයන් යොදවා ඒවට පහර දෙන්න පටන්ගෙන තියෙනවා. මෙවැනි බියවැද්දීම් වලින් මේ ශිෂ්‍ය අරගලය නවත්තන්න බෑ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නෑ." යනුවෙනි.