මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ ප්රධාන දොරටුව අසලට ගොස් “අමරේ මම ඇවිත් ඉන්නේ, බය නැතුව එලියට එන්න යැයි කියා සිටියේය. ඉන්පසු අමරසිරි නැමැත්තා කිසිම පැකිලීමකින් තොරව බන්ධනාගාරයෙන් පිටතට පැමිණ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානයට පැමිණියේය.
මේ සිදුවීමට පාත්රවන අමරේ යනු ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේය. ඔහු වත්මන් කටුවන ඝාතන සිදුවීමෙහි කතානායකවරයාය. ඉහත උපුටා දක්වන්නේ 2002 ජූලි 02 වෙනි දා පළවූ ලංකාදීප පුවත්පතේ ප්රවෘත්තියකි. එය පුවත්පතේ ප්රධාන ශීර්ෂපාඨයයි. එය තංගල්ල බන්ධනාගාරයේ හටගත් කැරැල්ල විසඳීම සඳහා එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විසින් කළ මැදිහත්වීමකදී පැනනැගුණු දෙබසකි.
අමරසිරි ඇතුළු බන්ධනාගාරයේ කැරැළි ගැසූවන් බන්ධනාගාර නිලධාරීන් ප්රාණ ඇපයට ගෙන තමන්ගේ ප්රශ්නවලට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කර තිබූ අතර මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අභ්යන්තර කටයුතු ඇමති ජෝන් අමරතුංග සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජුලි මස 01 වෙනි දින බන්ධනාගාරය වෙත ගිය බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ලංකාදීප පවෘත්ති වාර්තාවේ සෙසු උපුටාගැනීම් හුදී ජන පහන් සංවේගය සඳහා පහත ඉදිරිපත් කරමු.
“බන්ධනාගාරයේ කරැල්ල මෙහෙයවූ කණ්ඩායමේ නායකයා යැයි කියන ජී.ජේ.අමරසිරි හෙවත් අමරේ නැමැත්තා මුලින්ම මේ සාකච්ඡාව සඳහා පැමිණීමට කැමැත්ත පළකළ අතර ඔහු පොලීසිය විසින් දැඩි පරීක්ෂාවට ලක්කිරීමෙන් පසු සාකච්ඡාව පැවැති ස්ථානයට ගෙන එනු ලැබිණි.
අමරසිරි නැමැත්තා මුලින්ම කියා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ දකින තුරු ඔහු පැමිණි බව තමන් විශ්වාස නොකරන බවය.
එවිට මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ ප්රධාන දොරටුව අසලට ගොස් ‘අමරේ මම ඇවිත් ඉන්නේ බය නැතුව එලියට එන්න‘ යැයි කියා සිටියේය.
ඉන්පසු අමරසිරි නැමැත්තා කිසිදු පැකිලීමකින් තොරව බන්ධනාගාරයෙන් පිටතට පැමිණ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානයට පැමිණියේය......
ආරක්ෂාව පිළිබඳව සහතිකයක් දෙන තුරු තමන්ට අවි බිමතැබීමට නොහැකි බව මෙහිදී කැරලිකරුවන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට දන්වා සිටි අතර තමන් ඒ පිළිබඳව සහතික වන බව කියා සිටීමෙන් පසුව ඔවුහු අවි ආයුධ භාරදීමට එකඟ වූහ...“