
පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 2018 ජනවාරි මාසයට අදාළව රජයේ වියදම් සඳහා අමතර මුදල් වෙන් කර ගැනීමේ පරිපූරක ඇස්තමේන්තු මගින් ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළි වී තිබේ.
පවුල් ලක්ෂ 12ක සාමාජිකයන් ලක්ෂ 50කට ආසන්න පිරිසක් නියඟයෙන් පීඩාවට පත්ව සිටියදී ආපදා කළමණාකරණ අමාත්‍යාංශයට ජනවාරි 14 වැනිදා අමතර මුදල් වශයෙන් රුපියල් කෝටි පහක් වෙන් කරගෙන තිබේ. පසුගිය පාලන සමයේ මහා පරිමාණයෙන් මූල්‍ය ජාවාරම් සඳහා යොදා ගැනීම නිසා බිඳවැටුණු මූල්‍ය සමාගම් නගාසිටුවීම සහ එම සමාගම්වල මුදල් තැන්පත් කළ අයට වන්දි ගෙවීම සඳහා රුපියල් කෝටි 2400ක් වෙන් කර තිබේ.
එයින් රුපියල් කෝටි 1,001ක් වෙන් කරගෙන ඇත්තේ බංකොලොත් වූ මූල්‍ය සමාගම් නඟාසිටුවීමට සහ මූල්‍ය සමාගම් වෙනුවෙන් “මූල්‍ය වත්කම් කළමනාකරණ ඒජන්සියක්” පිහිටුවීම සඳහාය. එමෙන්ම මහා මූල්‍ය ජාවාරමකට යොදා ගන්නා ලද “සෙලින්කෝ ගෝල්ඩන් කී” සමාගමේ මුදල් තැන්පත් කළ අයට වන්දි ගෙවීම, ශ්‍රී ලංකාවේ “එස්සිම්” බැංකුවක් ඇරඹීම සහ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් තවත් රුපියල් කෝටි 1,400ක් වෙන් කරගෙන ඇත.
ස්වාභාවික විපත් නිසා දැඩි පීඩාවට පත්ව වූවන්ට වන්දි ගෙවීම, කොස්ගම හමුදා කඳවුරේ බෝම්බ පුපුරා යාමෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීම ඇතුළු මහජනතාවට සෘජුවම බලපාන ගැටලු විසඳීම සඳහා රුපියල් කෝටි පහක් වැනි ඉතාම සුළු මුදලක් පරිපූරක මඟින් වෙන් කරන විට මූල්‍ය ජාවාරම් සම්බන්ධ වියදම් වෙනුවෙන් කෝටි 2,400ක් වෙන් කර ඇත. මෙයට අමතරව ඇමතිවරු දාහතර දෙනෙකු වෙනුවෙන් සුපිරි වාහන ගැනීමට රුපියල් කෝටි 54කට අධික (රු. 546,123,790) මුදලක් යොදවා ඇත. ඒ අනුව ඇමතිවරු වෙනුවෙන් ගෙන්වන එක් වාහනයක් වෙනුවෙන් රුපියල් හාරකෝටි තිස්ලක්ෂයක (රු. 43,000,000) පමණ මුදලක් වෙන් කරගෙන තිබේ.
Leave a Reply